උදව්වට ප්‍රති උපකාරය

  ඔන්න ඉතිං මාසයකට වඩා වැඩි කාලයක් මේක පැත්තේ එන්න බැරි උනානේ. පදිංචිය වෙනස් කරපු නිසා ඉතිං ටිකක් බිසී උනා. අද උදේම වැස්ස නිසා කම්මැලිකමේ ඉද්දි හිතුනා මේකට පොඩ්ඩක් ගොඩ වෙලා යන්න ඕන කියලා. මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ 70ව දශකයේ විතර. අපේ ගම් පලාතේ දැනටත් ජීවත් වෙන අංකල්ලා දෙන්නෙක් අතර උන සිද්ධියක්. ඒ නිසා නම් ගම් නම් දාන්නේ නෑ.


  මේක කියද්දි අපි චරිත දෙක හදුනාගෙන ඉන්න ඕනනේ. ඒක්කෙනෙක් අපි උපාලි අයියා කියලා හදුන්වමුකෝ. මේ උපාලි අයියා  හොද බිස්නස් කාරයෙක්. සල්ලිය බාගේ එහෙම තිබුණා. වාහන දෙක තුනක් එහෙමත් තිබුණා. ඔය උපාලි අයියට හිටියා අතිජාත මිතුරෙක් රෝහණ කියලා. රෝහණගේ තාත්තට ටවුන් එකේ කඩ කිහිපයක් තිබුනාට එහෙමට සල්ලියක් එහෙම තිබුනේ නෑ. ඔන්න දවසක් රෝහණ අයියා තාත්තට වලි දාලා කඩයක් ඉල්ලාගෙන බිස්නස් එකක් පටන් ගන්න ලැහැස්ති උනා. ඉතින් අපේ උපාලි අයියා දන්නවා මූ ලොකුවට ටෝක් දුන්නට මුගේ අතේ සතේ නෑ කියලා. හැබැයි රෝහණට හොදට බිස්නස් කරන්න පුලුවන් බවත් දැනගෙන හිටිය උපාලි අයියා රෝහණට රැපියල් ලක්ෂ 3ක් දුන්නා බිස්නස් එක කරගෙන පලයන් කියලා. ඒ කාලේ ලක්ෂ 3 කියන්නේ අද ලක්ෂ 20 ක විතර දේවල් කර ගන්න පුලුවන්. ඉතිං රෝහණට යන්න එන්න උපාලි අයියාගේ බයික් එකත් දුන්නා වාහනයක් නැති නිසා.


  ඔහොම අවුරැදු දෙකක් විතර යද්දි රෝහණ දියුණු වෙලා පොඩ්ඩ පොඩ්ඩ උපාලි අයියාගේ සල්ලිත් දුන්නා. උපාලි අයියට හදිස්සි ඔපරේෂන් එකක් කරගන්න රට යන්න වෙලා නිසා ස්ල්ලි අඩුපාඩුවක් ඇවිත් තියෙනවා. ඉතිං නිකමට රෝහණට කිව්වාම හරි මචං මට පුලුවන් උබේ සල්ලි ටික දෙන්න බයික් එකටත් ගානක් කියපංකෝ බං මම ඒකත් දෙන්නම් කීවාම උපාලි අයියා ඒකටත් පොඩි ගානක් කියලා. ඔන්න දවසක් උපාලි අයියාට එන්න කියලා සල්ලි ගන්න කඩේට ගියාම උන කථාව මෙහෙමයි.

රෝ- මචං මම එන්න කිව්වේ අර සල්ලි ටික දෙන්න.
උ- හරි මචං මට මේ වෙලාවේ ඔපරේෂන් එකට යන්න නැත්නම් උබෙන්       ඕක ඉල්ලන්නේ නෑ බං..
රෝ- නෑ එහෙම අවුලක් නෑ මචං. හිටපංකෝ..
        මචං මම උබේන් ගත්තානේ ලක්ෂ 3ක්..
උ-  ඕව්..
රෝ- මේ මචං උඹට මම මළගෙදර දවසේ දුන්න 30000
        මේ මචං අර එදා දුන්න 10000
        මේ මචං අර උබ ඉල්ලා ගත්ත 50000
        මේ මචං අර එදා මම දුන්න ලක්ෂේ
උ- එල එල මචං.. උබ එකවුන්ට්ස් ටික හොදට කරනවා නේද.. 
රෝ- මචං එතකොට මම උබට එකයි අනූවක් දුන්නා. ලක්ෂ 3නෙන්                 ඉතිරි එකයි දහයයි මචං
උ- හරි බං...
රෝ- මේං ඒ එකයි 10 ය.. මචං උබ බයික් එකට කිව්වේ විස්සක් නේද               බං..
උ- ඔව් බං. ඒකනම් පස්සේ ගන්න බැරිය..
රෝ- නෑ බං හිටාංකෝ මම ඒකත් දෙන්න.. අමරා... අර බයික් එකේ                 විස්තර ටික ගේන්නකෝ..
         මචං උබ බයික් එක දෙද්දි ඒකේ සයිඩ් කණ්නාඩිය කැඩිලා තිබුනේ
         ඒකට හද්න්න ගිය බිල මචං මේ. 
         චේන් ස්පොකට් දාන්න ගිය ගාන මචං මේ..
         ලයිෂන් ඉන්සුව කරන්න අවුරැදු 3ට මචං මෙච්චරක් ගියා.
         ටයර් දැම්මා මචං... ඒ බිල මේ.. 
         මචං ඒ වියදම් අයින් කලාම ඉතිරි රැපියල් 4000යි.. 
         කමක් නෑ මෙතන රැපියල් 5000ක්ම තියෙනවා උබ අතෙත් සල්ලි             නෑනේ මේ දවස්වල. තව කීයක් හරි ඕනනම් කියපං ඈ.. ආයේ                 උබෙන් පොලියක් ගන්න බෑනේ බං.. වෙන උන්ට නම් මම සියයට           5හේ පොලියට දෙන්නේ...
උ- හ්ම්ම්ම්.. මම යනවා...


  එදයින් එදා උපාලි අයියා ආයේ පලාතේ ගියෙත් නෑ යන්නම් එන්නම් කියන තත්වයෙන්වත් ආශ්‍රය කරන්නෙත් නෑ. හැබැයි රෝහණ අයියා නම් කියන්නේ උපාලි අයියාට රෝහණගේ දියුණුව දැකලා ඉරිසියාව නිසා තරහා උනේ කියලයි. හැබැයි ඉතිං ඔය සිද්ධිය ඇස්දෙකෙන්ම දැක්ක ලගම යාලුවෙක් තමා මට කිව්වේ ඔය කතාව. මමත් කාලයක් ඔය රෝහණව ආශ්‍රය කලා. ඉතිං මේ කථාව බොරැවක් වෙන්න නම් බෑ. මොකද මිනිහා මට අවුරැද්දට එක සැරයක් සරමක් දුන්නා සල්ලි වලට. මේ ලගදි මිනිහාගේ පවුල මට කෝල් කරලා බිලක් තියෙනවා කිව්වාම මම ගියා බලන්න. මම ණයට අරගෙන නැති නිසා.. බලද්දි අර නිකං දුන්න සරමට බිලක් දාලා.. මම සල්ලි දීලා මිනිහත් එක්ක තියෙන යාලුකමත් ඉවර කරලා ආවේ.
අපේ අයටත් ඔය වාගේ සිද්දි වෙලා ඇති නේද? පල්ලෙහායින් කොටාගෙන යන්ඩලාකෝ එහෙනම්.

Comments

  1. මුදල් ණයට දීමෙන් යාලුවත් මුදලත් දෙකම නැති වේ … ඒ මම විස්වාස කරන දේ !
    එනිසා මට දරාගන්න බැරි ගණනක් කාටවත් දෙන්නේ නැහැ, ජීවිත අත්දැකීම් අමතක නොවෙන පාඩම් උගන්නනවා :)

    ReplyDelete
  2. මිනිහා කෙළ ගහන්නෙත් වාසියක් වෙනවද බලලා වෙන්නැති!

    ReplyDelete
  3. ඔහොම එවුවො වැඩි කාලයක් සල්ලිකාරයො වෙලා ඉන්නෑ බං.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....