දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

ටොරොන්ටෝ නුවර උසාවි කාමරයේ නිශ්ශබ්ද තාවය බිඳගෙන මහා හඬින් ජංගම දුරකථනයක් නාද උනා. වම් පැත්තේ ආසන පෙළේ වාඩි වෙලා හිටපු මැදිවිය ඉක්මවූ කාන්තාවක් කලබලයෙන් ඇගේ අත්බෑගයට අත පොවනවා.
"ප්ලීස් ස්විච් ඕෆ් ඕල් යුව ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වයිල් කෝට් ඉස් ඉන් සෙෂන්" කියලා උසාවි ලිපිකරු කෑගැහුවා. විනිශ්චයකරු ඔලුව උස්සලා වත් බැලුවේ නෑ. කටයුතු සාමාන්‍ය විදියටම සිදු වෙනවා. පැය භාගයකින් විතර ඒ විදිහටම ආපහු දුරකථන නාදයක් ඇහුණා. අර කාන්තාවම කලබලයෙන් ආපහු බෑග් එකට අත දානවා පෙනුනා. තව විනාඩි දහයකින් විතර ඒ දේම ආපහු වුනා. "පව් මේ මනුස්සයා ෆෝන් එක සයිලන්ට් දාන විදිහ දන්නේ නැහැ" මට හිතුනා.
මට ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියේ අවුරුදු 25ක විතර තරුණයෙක්. කොට කලිසමක් සහ ටෑන්ක් ටොප් එකක් ඇඳලා හිටපු ඔහුගේ ඇඟේ කොච්චර පච්ච කොටලා තිබුණාද කිව්වොත් තව එක පච්චයක්වත් කොටන්න ඉඩ තිබුනේ නෑ කියලා මට හිතුනා. ඔහු තැනින් තැන කරාබු දහයක් පහළොවක් ම එල්ලගෙන තිබුණා. ටික වෙලාවකින් ඔහුගේ නම කියල කතා කරහම ඔහු ගිහිල්ල ඉස්සරහ හිටගත්තා. විනිශ්චයකරු ඔහුට යම් දෙයක් විස්තර කරලා, නඩු විභාගයට දවසක් නියම කරලා එදාට උසාවියේ පෙනී සිටින්න කියලත් කිව්වා. "ස්තුතියි" කියලා ඔහු යන්න ගියා.
මට දකුණු පැත්තෙ පේලියේ වාඩි වෙලා හිටපු කළු තරුණිය ඇඳලා හිටපු ඇඳුමෙන් ඇයගේ සිරුරේ ආවරණය වෙලා තිබුණ ප්‍රමාණයට වඩා නිරාවරණය වෙලා තිබිච්ච ප්‍රමාණය බොහොම වැඩියි. ලංකාවේ සම්මතය අනුව කියනවනං හිටියෙ අඩ නිරුවතින් නෙවෙයි තුන්කාලක් විතර නිරුවතින් කියන්න පුළුවන්. එයත් ඉස්සරහට ගිහින් පොලිස් නිලධාරීන් මාංචු දාලා ගෙනාපු එයාගේ සහෝදරියට ඇපකාරිය ලෙස ඉදිරිපත් වෙලා විනිශ්චයකරුගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
මේ මම කැනඩාවේ උසාවියකට ගිය පළමු අවස්ථාව වූ නිසා, විනිශ්චයකරු මේවා ගැන වගේ වගක් නැතුව ඉන්නෙ මොකද කියලා මට හරි ප්‍රශ්නයක්.
පස්සේ මම මෙහෙම හිතාගත්තා...
"උසාවියේ ගෞරවය රැඳී තියෙන්නේ තමන් ලබා දෙන තීන්දුව කොයිතරම් සාධාරණ සහ ගෞරවනීය ද කියන එක මත මිසක්, යුක්තිය පසිඳලන කටයුතුවලට කිසිසේත්ම අදාළ නොවන කරුණු මත නොවන බව මේ නඩුකාරයාට සමහරවිට තේරුම් ගිහිල්ලා ඇති".
- Jayantha Wijesinghe -

Comments

Post a Comment

Popular posts from this blog

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....