ගිලිහී යන මනුස්සකම....සහ නින්ජා ගේම...

(ටිකක් දිග උනාට කියවලා බලන්න අපිව කොයිතරම් දුරට මිනිසුන් අන්දවනවද කියලා?)
  
මෑතකදී ශ්‍රීලංකාවාසීන්ගේ නෙතට කඳුලක් මතුකරලීමට සමත් වූ විශේශ පුවතක් සමාජ ජාලා වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකාවලින් දකින්නට ලැබින... එනම් මුද්‍රනාලයක සේවය කල සේවකයෙකුගේ අත කෝටිගනනක් වටිනා මැශිමක සිරවී ඇති අතර සේවකයාගේ අතට සිදුවූ හානිය අවම කරලීමට එම මුද්‍රනාල හිමිකරු මැශිම කපා අත බේරාගැනීමට කටයුතු කල සිදුවීමය... ඇත්ත වශයෙන්ම අප ශ්‍රීලාංකිකයන් වශයෙන් එම සිදුවීම අගය කල යුතුය... මක් නිසාද යත් මනුස්සකමට හොඳම උදාහරන තවමත් ලාංකිකයන් වූ අප අතර පැවතීමය... එය එසේ නොවිය යුතුයි යන්න කිසිවෙකුට හැඟේනම් එය වෙනත් ගැටළුකාරී තත්වයක් විය හැකිය... කෙසේ වුවද මෙම සිදුවීමේ වීඩියෝ පටයක් නැවත වාරයක් දකින්නට ලැබීම නිසා මා සිත තුල කිහිප විටක්ම හොල්මන් කරමින් තිබූ එක්තරා දසුනක් සිහියට නැගෙන්නට විය...

     දිනක් සවස් කාලයේ මාගේ අවශ්‍යතාවයක් සඳහා වාහනයේ නැගී පිටත් වන විට දුටු එක් දසුනක් මාගේ සිත සසල කරන්නට සමත් විය... එනම් රියාද් නගරයේ එක් වටරවුමක් අසල වාහනයක් අනතුරට ලක් වී තිබෙන ආකාරයයි... මොනයම් සිදුවීමක් හෝ නිසා සිදුවූ එම අනතුරින් ඇසන්ට් වර්ගයේ එම රථයට දැඩි අලාබහානි වී තිබුනු අතර එයට මඳින් මද ආසන්න වෙද්දී මාදුටුවේ එම රථයේ රියදුරා ඒ මොහොත වනවිටත් එහි සිරවී සිටින ආකාරයයි... කිසිවෙකුගේ පිලිසරනක් නොමැතිව එහි සිරවී සිටියේ බොහෝ විට ඉන්දියානු ජාතිකයෙකු හෝ බංගලාදේශ් ජාතිකයෙකු විය හැකි බවට මා අනුමාන කලේය... 

     කෙසේ වෙතත් විස්සක් තිහක් හෝ ඊට වැඩි මිනිසුන් ප්‍රමානයක් එහි රැස්වී සිටියද කිසිවෙකු එම වාහනය අසලටවත් ලං නොවී සිටීම හදපාරවන්නක් විය... වේදනාවෙන් ඇඹරෙමින් සිටි මිනිසා ගිලන් රථයක් පැමිනෙන තුරු වාහනයේ සිරවී සිටීමට සිදුවන බව මා පසුව දැනගත් අතර එහි නීතිමය තත්වය පිලිබඳවද සවුදි ජාතිකයෙකුගෙන් අසා දැනගත්තෙමි... අනතුරට පත් තැනැත්තා මුදාගැනීමට කිසිවෙකු හෝ ලං නොවීමට හේතුවත් එයින්ම පැහැදිලි විය... යම්කිසි අනතුරකට ලක්වූ තැනැත්තා ගින්නකට භාජනය නොවේ නම් ඔහු ඇල්ලීම හෝ එහා මෙහා කිරීම නොකල යුත්තක් බව මට පැහැදිලි විය...  එය අනතුරට පත් තැනැත්තාට සිදුවන හානි අවම කිරීම සඳහා භාවිතාවන රීතියක් බැව්ද ඉහත කී සවුදි ජාතිකයා මාහට පැවසීය... එහි තිබෙන මානුශීය පැතිකඩ සහ නීතිමය පැතිකඩ ගැන ඉන් ඉදිරියට පැවසීමට තරම් මාගේ මාගේ දැනුම ප්‍රමානවත් වන්නේ නැත...

     කෙසේ වුවද අප මාතෘභූමියේ එවැනි අනතුරකදී සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයකි... ජලාශයකට ත්‍රීරෝදයක් පෙරලී එහි වූ සියල්ලන්ම ගිලී ජීවිතයත් මරනයත් අතර සටනක් කල කිහිපදෙනෙකුහේ දිවි බේරාගැනීමට ආරක්ශක අංශ සාමජිකයෙක් සිය දිවිය පසෙකලා ගත් උත්සාහය අප දැක ඇත...වාහනයක් හෝ වෙනත් කිසියම් අනතුරක් වූ විට කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් එක් අයෙකුගේ හෝ පන බේරාගැනීමේ නොපසුබට උත්සාහය ලොවම මවිත කරවන සුලුය... අතට අසුවූ යමක් ගෙන වාහන දොරවල් කඩා තම ශරීරය පුරා ලේ තවරාගෙන අනෙකෙකුගේ දුකකදී පිහිටට එන්නාවූ මිනිසුන් සිටින රටක් මෙලොව තවත් තිබිය නොහැකිය යන්න මාගේ විශ්වාසයයි... එය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතින්නේ නම් මෙලොව වසන වාසනාවන්තම ජන කොටස ශ්‍රී ලාංකිකයන් විය හැකිය....

    කෙසේ වෙතත් මිනිසුන්ගේ තිබෙන මෙවැනි මානුශික ගතිගුන වලින් අනිසි ප්‍රයෝජන ගන්නා අසමජ්ජාති මිනිසුන්ද සිටින බව ඔබ අප දන්නා කාරණයකි... අවාසනාවකට මටද එවැනි ජාතියේ අමන මිනිසෙකු හමුවී ලද අත්දැකීමක් ඇත... මා එය මෙහි සඳහන් කරන්නේ මෙවැනි මිනිසුන් නිසා සමාජයට සිදුවන අයහපත ගැන යමක් ඉස්මතු කිරීම සඳහාය... මෙම සිදුවීම සැබවින්ම පිලිකුල් සහගත හැඟීමක් ජනිත කිරීමට සමත් වෙනවා නොඅනුමානය....

  එක්තරා දිනෙක දහවල් කාලයේ මා සේවය කල වැඩපල බලා මෝටර් සයිකලයේ නැගී පිටත් විය... ගරාජය (පාලයියාගේ වැඩපල නොවේ..) ආසන්නයට ලඟා වනවිට පාර අයිනේ සිටි මැදිවියේ මිනිසෙක් මාගේ බයිසිකලයට අත දමා නවතින ලෙස සංඥාවක් ලබා දුන්නේය... හැඳසිටි ඇඳුම , පුද්ගලයාගේ පෙනුම අනුව ඔහු තුලින් යම් වැදගත් කමක් ඉස්මතුවී පෙනුනු බැවින් මා ඔහු අසලින් බයිසිකලය නවත්වා ගත්තේය... ඉන්පසු තරමක වේදනා බර මුහුනකින් යුතුව මාගෙන් යමක් විමසන්නට විය...

"" ඇයි අංකල්.. මොකද මාව නැවැත්තුවෙ... 

"" පුතා මේ හරියෙ පන්සලක් තියනවද....

"" පන්සලක් නම් තියනවා.... හැබැයි පොඩ්ඩක් දුරට යන්න වෙනවා...

"" එහෙමද... කොච්චර දුරයිද පුතා...

"" කිලෝමීටර් දෙකක් විතර.... ඇයි අංකල් පන්සලක් හොයන්නෙ...

"" මට පොඩි කරදරයක් පුතා... ඒකයි පන්සලට යන්න බැලුවෙ...

    ඔහුගේ මුහුනෙ ඉතා වේදනාකාරී බවක් සහ අසරණ කමක් දිස්වන්නට විය... එය ඉතා අව්‍යාජ ස්වරූපයක් විය...

"" අංකල්ට ඕනි නම් මම පන්සල ගාවට ගිහින් දාන්නම්.... මමත් මේ වැඩට යන ගමන්.... කමක් නෑ පොඩ්ඩක් පරක්කු උනාට...

""පන්සලට ගියත් වැඩක් වෙයිද දන්නෙ නෑ පුතා...

"" හරි දැන් අංකල්ට මොකක්ද වෙලා තියන කරදරෙ...

"" එකක් නෙවෙයි පුතා කරදර කීපයක් වෙලා තියෙන්නෙ... පන්සලට යන්න බැලුවෙ මොකක් හරි උදව්වක් ගන්න...

"" එහෙමද....? එහෙනම් දැන් අංකල්ට මොකක්ද වෙච්ච කරදරේ...

"" අපේ නෝනට සනීප නෑ පුතා... කැන්සර් එකක්...  ඔපරේශන් එකක් කරලා තියෙන්නෙ..

"" හප්පට සිරි අංකල්ට ලොකු කරදරයක්නෙ වෙලා තියෙන්නෙ....

"" ඔව් පුතා වෙන්න තියන හැමදේම උනා... දැන් ඉතිං මහ පාර තමා උරුම..

"" හරි දැන් අංකල් පන්සලට යන්නෙ මොකටද....

"" පුතා මම අහවල් ගමේ ඉන්නෙ... මම ඉස්සර හොඳ සල්ලි කාරයෙක්... මම කලේ කොන්ත්‍රාත් අරන් ගෙවල් ප්ලේන්ට් කරපු එක... අපේ පැත්තෙ මම හිටියෙ බෝම වැදගත් විදිහට... ඒත් දැන් සේරම නැතිවෙලා තියෙන්නෙ... අපේ නෝනගෙ අසනීපෙ නිසා... ඒත් මේ වෙලාවෙ මට අහල පහල මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් ඉල්ලගන්න බෑ... ලැජ්ජයිනෙ පුතා...

    මිනිසුන්ට බොහෝ විට අසරන කම් අඩුපාඩු කම් ඇත... එහෙත් ඒවා නිසා ඔවුන්ගේ ආත්ම ගරුත්වයට හානියක් සිදුවේ නම් බොහෝ අය ඒවා පිටට පෙන්වන්නේ නැත... එය වරදක්ද නොවේද යන්න මාදන්නේ නැත... නමුත් සමාජයේ වෙසෙන සමහරක් අයවලුන් ඒවා හෑල්ලුවට ලක් කිරීම නිසා මිනිසුන් යමෙකෙකුගෙන් උදව්වක් ඉල්ලා ගැනීමට මැලි වන්නේය... මේ පුද්ගලයා පවසන පරිදි ඔහුට උදාවී ඇත්තේද එවැනි තත්වයකි... ඔහුගේ හැසිරීම නිසා මා වටහාගත්තෙ එවැන්නක්ය...

"" ඒකත් ඇත්ත තමයි අංකල්... මිනිස්සුන්ට අතපාලා ජීවත් වෙන එකත් අමාරුයි තමා....

"" ඒකනේ පුතා... මම කොහොමද මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන කන්නෙ..

"" දැන් අංකල් පන්සලට ගිහිල්ලා මොනවද ඉල්ලගන්නෙ...

"" නෝනගෙ අසනීපෙ නිසා මගෙ වැඩ ඔක්කොම බංකොලොත් උනා... ඉස්පිරිතාල ගානෙයි ක්ලිනික් ගානෙයි යන්න උන නිසා වැඩක් කරන්න බැරි උනා.... ඒත් දැන් නෝන ගෙදර ඉන්නෙ... මට ආයෙත් වැඩට යන්න පුලුවන්... ඒත් ගෙදර කන්න දෙයක් නෑ පුතා.... කන්න මොනවා හරි හොයාගන්න කියලා පාරට බැස්සෙ...

     ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම ඉතාමත් සංවේදනීයය...

"" ඒකත් එහෙමද... ඉතිං වැඩක් හම්බ උනෙත් නැද්ද....

"" මේ මාසෙ අන්තිමට මට වැඩක් තියනවා පුතා... ඒ වැඩේ පටන් ගත්තම නම් මට කීයක් හරි හම්බ වෙනවා.... ඒත් ඒ වෙනකං ගෙදර කන්න හාල් ඇටයක් ලූනුගෙඩියක් නෑ... අන්තිම හාල්ටික ඊයෙ රෑ ලිපේ තිබ්බෙ.. නෝනා බඩගින්නෙ තියන්නත් බෑ...

     ඉතාම දුක්බර කතාවකි... මිනිසෙකුගේ අසරන කම තවත් අයෙකුට දැනෙන්නේ කිසියම් දවසක ඔහුත් එම අසරන හැඟීමට ගොදුරු වූවිටය... මාද අනන්ත අප්‍රමාන මුදල් හිඟකම් වලින් පෙලී ඇත... දෙමව්පියන්ට පින්සිදුවන්නට කිසිම දිනෙක බඩගින්නෙ නොසිටියද යම් අවස්ථාවලදී මුදල් හිඟ කම නිසා මාද විවිධ අසීරුතාවයන්ට ගොදුරු වී ඇත... එබැවින් ඒ පුද්ගලයා කෙරෙහි මා සිත තුල ඇතිවූයේ අප්‍රමාන වේදනාවකි.... ඒ මොහොත වන විටත් මේ පුද්ගලයාගේ දෑසින් කඳුලු වැගිරෙන්නට පටන් ගෙන තිබුනි...

"" කන්න මොකවත්ම නැද්ද අංකල් ගෙදර...

"" ඔව් පුතා.... හාල් ඇටයක් වත් නෑ....

"" දැන් ගෙදරට ඕනි කරන බඩු මුට්ටු මොනවද....

"" මම අපේ නෝනට කියලා ඕනි කරන ටික ලියාගෙන ආවා පුතා...

    අසරණ මිනිසා උඩ සාක්කුවෙන් කුඩා කොලයක ලියාගෙන තිබු බඩු තුන්ඩුවක් මා අතට පත් කලේය... හාල් , පොල් වල සිට කරවල , අල , ලූනු ,කිරිපිටි ඇතුලු තරමක් දිග බඩුතුන්ඩුවේ මුළුතැන්ගෙයට උවමනා කරන සියල්ලක්ම  සඳහන් වී තිබින.... අනුමාන වශයෙන් රුපියල් හාරදහසක පමන මුදලක් එයට වැය විය හැකි බව මා හට අවබෝධ විය...

"" මෙන්න මේ බඩු ටික තිබුනනම් මට මේ මාසෙ වේල පිරිමහගන්න පුලුවන් පුතා... ලබන මාසෙ වෙනකොට මට සල්ලි හම්බ වෙනවා... පුතාට පුලුවන්නම් මට මේ බඩු ටික අරන් දෙන්න.... මම පුතාට ආපහු සල්ලි ගෙනත් දෙන්නම්....

"" අංකල් මාගාවා සල්ලි වගයක් නම් තිබුනා... කමක් නෑ මට ආයෙ ඕනි නෑ... මම මේ බඩු තුන්ඩුවේ තියන ටික අරන් දෙන්නම්....

"" අනේ පුතාට පිං සිද්ද වෙනවා... මට මේටික අරන් දෙන්න.... මම සල්ලි ගත්ත ගමන් පුතාට ආපහු ගෙනත් දෙන්නම්....

"" නෑ නෑ මට ආයෙ සල්ලි ආපහු ඕනි නෑ... මම මේ බඩු ටික අරන් දෙන්නම්

"" අනේ පුතාට රත්නත්තරේ පිහිටයි... දෙයියොම බලාගන්න ඕනි පුතාව...

    අසරණ මිනිසා බයිසිකලයේ නංවා ගත් මම ඔහුව නගරයේ තොග බඩු කඩයකට කැඳවාගෙන ගියේ සිතේ උපන් අනුකම්පාව නිසාමය... මා සල්ලි කාරයෙකු නොවේය... එය එදාත් එහෙමය... අදත් එසේමය... නමුත් ඒ මොහොතේ  ඔහුට උදව් කිරීමට තරම් හැකියාවක් මා සතුව තිබින... ඒ ඊට දින දෙකකට පෙර රාත්‍රී දෙකක් එලිවනතුරු වැලිතොටුපලක ගලවා තිබූ ලොරියක් අලුත් වැඩියා කිරීමෙන් ලැබුනු රුපියල් පන්දහසක් මා සතුව තිබින... කඩයට ගිය මා එහි සිටින සේවකයෙකුට කතාකොට බඩු තුන්ඩුවට අදාල සියලුම බඩු බාහිරාදිය කිරා දෙන ලෙස පැවසුවේය... ඉන්පසු තුන්ඩුවේ සඳහන් බඩු වලට රුපියල් හාරදහස් හත්සිය පනහක් ගෙවා දැමුවේ කිසිම පැකිලීමකින් තොරවය... එයට හේතුව නම් මා කිසි දිනෙක එවැනි විශාල මුදලක් කිසිවෙකු වෙනුවෙන් වියදම් කොට නැති නිසා ඇතිවූ චිත්ත ප්‍රීතිය නිසාමය... කිසිම දිනෙක ගෙදරට මාගේ වියදමෙන් පොල් ගෙඩියක්වත් මිලදීගෙන නැත... නමුත් අසරනයෙකුගේ බඩගින්න වෙනුවෙන් මා සිදුකල එම ක්‍රියාවේ සතුට මා ඉදිරියේ පෙරලි කරන්නට විය... එය අප සැමටම පොදු වූ සිතිවිල්ලක් විය හැකිය....

   අවසානයේ සියලුම බඩු බාහිරාදිය පෝරකවරයකට පුරවා අසල තිබූ ත්‍රීරෝද රථ ගාලට ගිය මා එහි වූ ත්‍රීවීලරයකට බඩු සියල්ලම පටවා ඔහුවද එයට ගොඩ කරවූයේය... අත ඉතිරි වූ රුපියල් දෙසිය පනහක මුදලද ඔහුගේම සාක්කුවට දමා ත්‍රීවීලරයේ ගාස්තුව ගෙවන ලෙස පැවසූ මා ආපසු එන්නට සැරසෙන විට ඔහු නැවතත් ත්‍රීවීලයෙන් බැස මා අසලට පැමිනියේය....

"" පුතා දෙයියෙක් වගේ මට පිහිට උනා... පුතා මේ මගේ පෝන් නම්බරය... මොනවා හරි වැඩක් සෙට් උනොත් මට කියන්න... මම පුතාටත් ගානක් දෙන්නම්...

"" හරි මම මොනව හරි හම්බ උනොත් කියන්නම්.... මට සල්ලි ඕනි නෑ...

"" මම ආයෙ එනවා පුතාව බලන්න... නිකන් නෙවෙයි මේ වියදම් කරපු සල්ලි වගේ තුන් ගුනයක් අරගෙන...

"" මාව බලන්න ආවට නම් කමක් නෑ... හැබැයි මට ආපහු සල්ලි එපා.... මම මේවා අරන් දුන්නෙ පිනට... ආපහු ගන්න බලාගෙන නෙවෙයි... ඔයාට සල්ලි හම්බ උනාම මේ වගේ කාට උදව්වක් කරන්න... ඒක පිං සිද්ද වෙන වැඩක්... හරි අංකල් දැන් ඔයා යන්න.... මාත් වැඩට යනවා...

"" අනේ පිං සිද්ද වෙනවා... මම ලඟදිම එනවා ආපහු....

"" හරි හරි දැන් යන්න...

     අසරන මිනිසා ත්‍රීවීලරයේ නැගී පිටත් වී ගිය අතර මාද ගරාජයට පැමිනියේ ඉතුරුව තිබූ වැඩ අවසන් කිරීමටය... අහම්බයකින් සිදුවූ සිදුවීම නිසාත් කිසි දිනෙක නොලද ආත්ම තෘප්තියත් නිසා මට මා ගැනම කිසියම් ආඩම්බරයක් දැනෙන්නට විය... හැකි සැම විටෙකම අසරනයෙකුට පිහිට වීමට මා ඉටාගත්තේ එයින් ලැබෙන ආත්ම තෘප්තිය නිසාමය...දින දෙකක් ගෙවී ගිය අතර මා එදින උදෑසනම ගරාජයට පැමිනියේ කිසියම් හදිසි වැඩක් යෙදී තිබුන බැවිනි...  මා ගරාජය අසලට යනවිට දැක පුරුදු මුහුනක් දුර තියාම සිනහසෙනු දුටුවේය... ඒ වෙන කවුරුවත් නොවේය... පෙර දිනෙක මා පිහිට වූ අසරණ මිනිසාය...

"" ගුඩ් මෝනින් පුතා...

"" ගුඩ් මෝනින් අංකල්... කොහොමද ඉතිං...

"" අනේ පුතාට පිං සිද්ද වෙන්න කාලා බීලා හිටියා... අපේ නෝනටත් පුතාව බලන්න ඕනි කිව්ව... වෙලාවක එහෙ එක්ක එන්න කිව්වා...

"" මගේ මොනවා බලන්නද අංකල්... මම ඒ වෙලාවෙ අංකල්ට පිහිට උනා... එච්චරයි... ඕක මහ දෙයක් නෙවෙයිනෙ... මම නොකලත් වෙන කවුරු හරි ඔයාට පිහිට වෙනවා.... මේක ලංකාවනෙ....

"" ඒක නම් එහෙම තමා... ඒත් ඒ වෙලාවෙ පුතා මට පිහිට උනානෙ... ඒක අමතක කරන්න බෑනෙ...

     මේ අසරණ මිනිසා අවංකය...  ඔහුගේ වාග් විලාසය මිනිසෙකුගේ හිත් උනුකරවාලීමට සමත්ය...

"" ඉතිං දැන් අංකල් මෙහෙ ආවේ මොකටද...

"" ඔක්කොම හරි පුතා...මට වැඩක් හම්බ උනා... හෙට උදේට වැඩ පටන් ගන්නවා... දෙයියනේ කියල සතියක් යනකොට කීයක් හරි හම්බ වෙනවා.... ඊටපස්සේ මේ සේරම අඟ හිඟකම් ඉවරයී... පුතා එදා දෙයියෙක් වගේ පිහිට වෙලා පැය දෙකක් ගියේ නෑ කෝල් එකක් ආවා මට.... අහවල් පොලීසියේ ඕ අයිසී මහත්තයාගෙන්... එයාගෙ යාලුවෙක්ගේ ගේ ප්ලේන්ට් කරල දෙන්න කියලා... අනිද්දට ඇඩ්වාන්ස් එකක් දෙනවා කිව්වා...

"" ඒක හොඳයි... ඉක්මනට වැඩ පටන් ගන්න... ඔය කරදර සේරම අඩුවෙලා යයිනෙ එතකොට...

"" ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා පුතා...

"" ඒ මොකක්ද අංකල්... ඒපාර...

"" වැඩට කට්ටිය හම්බ උනා... ඒත් මේ කට්‍ටියට කෑම බීම ටික දීගන්න විදිහක් නැතුව මම මේ ඉන්නෙ... මිනිස්සු දන්නෙ නෑනෙ ඕවා... වැඩට එක්කන් ගියාම ඉතිං කෑමට හරි වියදමක් යනවා... මම ආවේ ආයෙත් පුතාගෙන් උදව්වක් ඉල්ලගෙන...

"" ඒ මොකක්ද ඒ...

"" මේ වැඩට එක්කං යන අයට කෑම අරන් දෙන්න කීයක්හරි ඉල්ල ගන්න පුතා....
ඊයෙ මම දවස පුරාම දෙතුන් පලකින් අහලා බැලුවා කීයක් ඉල්ල ගන්න... හම්බ උනේ නෑ පුතා.... බැරිම තැන තමා මම මේ පුතාව හොයාගෙන ආවේ... අනේ පුතේ වරදවා හිතන්නෙ  නැතුව මට කීයක් හරිදෙන්න තියනවනම්.... මම ඇඩ්වාන්ස් එක් ගත්ත ගමන් ආපහු දෙන්නම්....

     නිවන් යන්න අපි කවුරුත් කැමතිය... නමුත් මේ තරම් ඉක්මනට නිවන් යා නොහැක... ඒ තරමට මුදල් ඇත්තේද නැත... අසරන මිනිසාගේ ඉල්ලීමද අහක දැමිය නොහැක... නමුත් මේ මිනිසා ඇත්තේ විශාල කරදරයකට මුහුන දීගෙනය... උදව්වක් ඉල්ලාගෙන ආ එකෙකු පන්නා දැමීමද නොහැකිය... අතේ ඇත්තේද සුලු මුදලකි... කමක් නැතිය... ගෙදරට ගොඩවූ විට බත්පත වරදින්නේද නැත... බොරුවට බැන බැන හෝ අම්මා බත් තටුව සාදා තබන්නීය... මා සිත හදා ගත්තේය.. මෙවරත් මා මේ අසරනයාට පිහිට වන්නෙමි...

"" අංකල් මා ලග තියෙන්නෙ මෙන්න මෙච්චරයි... බයිසිකලේට පෙට්‍රල් ගහන්න මේ දෙසීය තියාගෙන ඉතුරු ටික දෙන්නම්....

"" පුතා මට පුතාගේ එකවුන්ට් නම්බර් එක දෙන්න... මම සල්ලි ගත්ත ගමන් එහෙන් දාන්නම්... දාල පුතාට කෝල් එකක් දෙන්නම්....

"" නෑ නෑ... මට මේකත් එපා... එකවුන්ට් නම්බර් එක දෙන්නෙත් නෑ... ඔයා ගිහින් වැඩේ කරගන්නකො...

  අතේ ඉතිරිව තිබූ රුපියල් එක්දාස් පන්සීය අසරණයාට ලබා දුන්නේ පැහැදිලි සිතුවිල්ලකිනි...

"" පුතා මට එකවුන්ට් නම්බරේ දුන්නෙ නැත්නම් මම මේ සල්ලි ගන්නෙ නැ... ඒක හින්දා මට එකවුන්ට් එකේ නම්බර් එක දෙන්න... මම සල්ලි ගත්තු ගමන් එහෙන් දාන්නම්..

"" මාගාව දැන් එකවුන්ට් නම්බර් එක නෑ.. නම්බරේ මතකත් නෑ. අනික ඔය සල්ලි මට එපා.. ඒක හින්දා ඔයා දැන් ඕකත් අරගෙන යන්න

"" එහෙම බෑ එකවුන්ට් නම්බර් එක ගෙදර ඇතිනෙ... යං මාත් එක්ක පුතාගෙ ගෙදර... ගිහිල්ලා අම්ම තාත්තත් බලලා ඒක්ත් අරගෙන එමු...

    මිනිසාගේ ඇවටිල්ල ඉතාම ප්‍රභල විය.. අවසානයේ මා ඔහු සමගින් එකඟ විය... එයද හේතුවක් උඩය.. මන්දයත් මොහුගේ සැබෑ තත්වය මාහට දැනගැනීමට අවශ්‍ය විය... ඔහුගේ අවංක භාවය ගැන ඒ වන විට මාගේ කුතුහලය ඇවිස්සෙම්න් තිබීම එයට හේතුව විය... මා ඔහුත් සමග මාගේ නිවසට ගියේය.. අම්මාට ඔහුගැන හදුන්වා දී නිතර භාවිතා නොකරන එන් එස් බී බැංකුවේ ගිනුම් අංකයද ලබා දුන්නේය... කිසිලෙසකින් හෝ ඔහු එයට මුදල් දමා තිබුන හොත් එය රැගෙන කිසිවෙකුට හෝ යමක් පින් තකා ලබා දීම මාගේ සැලසුම වී තිබින... සත්‍ය වශයෙන්ම මා ඒ අදහස් ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තුවෙන් සිටියේය...

    පසුව මෙවන් දරුවන් වාසනාවක් බවත් ඒ සඳහා තවත් කරුනු කාරනා සහිතව අපූරු දේශනාවක් ඉදිරිපත් කල ඔහු අවසානයේ බසයේ නැගී පිටත්ව ගියේ එම මස විසි වෙනි දින උදෑසනම බැංකුවට මුදල් බැරකරන බවට තරයේම ප්‍රකාශ කරය....

     කාලයෙ ගෙවී ගියේ හීයක වේගයෙනි... මේ සියල්ලම මාහට අමතක වෙමින් පැවතින... එම මාසයද ගෙවී ගිය අතර කිසියම් කරුනක් සඳහා මාහට බැංකුවට යාමට සිදුවිය... පසුව බැංකුවට ගොස් අදාල රාජකාරිය නිම වීමෙන් පසු  අහම්බයකින් මෙන් ඉහත සඳහන් පුද්ගලයාගේ සිදුවීම මතක් විය... වහාම ඒටීඑම් යන්ත්‍රය අසලට ගිය මම කාඩ් පත එයට ඇතුල් කලේ එහි ශේශය පරීක්ශා කිරීමටය... පුදුමයකි තවමත් එහි ඇත්තෙ රුපියල් තුන්සිය ගනනක් පමනි... පර සක්වල ගසමින් පොරොන්දු වු පුද්ගලයා එයට සතපනහක් හෝ දමා නොමැති බව මාහට සක්සුදක් සේ පැහැදිලි විය... වියදම් කල මුදල් ගැන හිතේ කිසිම කිලුටක් නොමැතිව මා එතනින් පිට විය... කාලය ගත වීමත් සමගම මාහට එම සිදුවීමත් පුද්ගලයාත් සම්පූර්නයෙන්ම අමතක වී ගියේය....

    කාලය ගතවී නැවතත් මා පාලයියා සිටින ගරාජයට මාරුවී ගියේය... එහි සේවය කරමින් සිටින අතර අපගේ ලොක්කා සමග කතාවට වැටුනේ වැඩ අඩු වූ දිනකදීය... ලොක්කාත් මාත් කතා කරමින් සිටින මොහොතේ ඒ අසලට පැමිනියේ සිඟමනේ යෙදෙන මිනිසෙක්ය... ලොක්කාද මාද අතතිබූ මාරු කාසි වලින් ඔහුට ආධාරයක් කලේය...

"" ඇත්තටම බන් උඹලා අපි කොච්චර වාසනාවන්තද නේද බන්...

"" ඒ මොකෝ එහෙම කිව්වෙ...

"" නෑ බලපං අපිට රස්සාවක් තියනවා... ඉන්න ගෙයක් තියනවා... යන්න එන්න බයිසිකල් කටුවක් හරි තියනවනෙ... ලෙඩක් දුකක් උනත් බේතක් හේතක් ගන්න සල්ල් කීයක් හරි අතේ තියනවනෙ.... ඒ අතින් මේ මිනිස්සු හරි අසරනයි නේද බන්...

"" ඒක නම් ඇත්ත...මහිතන්නෙ ගිය ආත්ම වල දන් දීලා නැතුව ඇති...

"" ඒක වෙන්න ඇති... මමත් ඔය කවුරු හරි ආවොත් කීයක් හරි දෙනවා බන්... සල්ලි මුට්ටි ගහලම හරියන්නේ නෑනෙ...

"" ඒකනම් එහෙම තමා... මාත් හැබැයි රුපියල් පහක් හරි දෙනවා තිබ්බොත්...

"" හැබැයි දැන් කාලේ හිඟන්නට රුපියල් පහක් දුන්නොත් බැනුම් අහන්න වෙන්නෙ බන්... උන් ඒ තරමට දියුනුයි...

"" ඔව් ඔව්... හැබැයි මේ මෑතකදි මට මාර වැඩක් උනානෙ...

"" ඒ මොකක්ද...

ලොක්කා විමසූ නිසා කාලයකට ඉහතදී මා සිදුකල ඒ පුන්‍ය කර්මය ගැන ලොක්කා සමග පවසන්නට විය.... නමුත් කතාවේ භාගයක් පවසන විටම ලොක්කා මාහට බාධා කරන්නට විය...

"" පොඩ්ඩක් හිටපං... ඔය මිනිහාගෙ හැටි මම කියන්නද......

   ලොක්කා බලා සිටියාක් මා අත් දුටු ඒ සිදුවීමට අදාල කතාවක් පවසන්නට වූයේ මා තුශ්නීම්භූත කරවමින්... එම පුද්ගලයා මාසමග  පැවසු සියලූම කතාව ලොක්කා පොතක් බලාගෙන මෙන් පවසන්නට විය... ඔහුගේ නෝනාගේ අසනීප තත්වයත් , සේවකයින්ගේ කෑම ප්‍රශ්නයත් කිසිම වෙනසක් නැතුව පැවසූ ලොක්කා අවසානයේ මාගෙන් ඇසුවේ එකම දෙයක් පමනි....

"" උඹත් ඌට අහු උනාද.... ඕකා යකෝ හිඟා කන සිස්ටම් එක ඕකයි... ආයේ ඕන පුතයෙක් උගේ වදනට අහුවෙනවා... උඹ දන්නවද ඌ ඔය බඩු මල්ලට මොකද කරන්නෙ කියලා... කාට හරි විකුනනවා... ඊට පස්සෙ දවස් දෙක තුනක් කන පැලෙන්න බොනවා... ඉස්සර ඕකා මේ ඒරියා එකේ ඔය වැඩේ කලා... දැන් දැන් මිනිස්සු සීන් එක දන්න නිසා මූ මේ ඒරියා එකේ ඔය වැඩේ කරන්නෙ නෑ...

"" හත්තිලව්වේ එතකොට මූ හොරෙක්ද....

"" උඹට ශුවර් නැත්නම් අහලා බලපන් %*$* එකේ $*$-# අයියගෙන්... මෑන් උඹට කියයි විස්තරෙ....

"" යකො මූ කියපු විදිහට මම හිතුවෙ ඇත්තම කියලා... මූ මාර ගේම් කාරයෙක්නේ.... හරි එතකොට ඌ ප්ලේන්ට් කොන්ත්‍රාත් කාරයෙක් නෙවෙයිද...

"" මූ කරන්නෙ ඒ සබ්ජෙක්ට් එක තමා...... වැඩ නැති කාලෙට ගේම ගහන්නෙ ඔහොම තමා...

"" වැඩ නැති කාලෙ කිව්වෙ...

"" ඇයි බන් ගෙවල් හැමදාම ප්ලේන්ට් කරනවද.... අනික දැන් ගෙදර එවුන් එකතුවෙලා හුනු බාල්දියක් දිය කරගෙන ගානවා මිසක් කොන්ත්‍රාත්  දෙනවද... ඒ ඉස්සර.. දැන් වැඩ අඩුයි... ඒ කාලට මූ ඔය ගේම ගහනව...

"" එතකොට ගෑනිගෙ කැන්සර් කතාව....

"" ඒකත් බොරුවක් බන්... ඔය සීන් එක නිසා ඕකගෙ ගෑනිත් ඕකව දාලා ගිහිල්ල තියෙන්නේ.... ඇයි බන් ඒ ගෑනි කොහොමද රෙද්දක් ඇඳන් පාරෙ යන්නෙ....

"" යකෝ එතකොට මේ යකා හොරෙක්ද....

"" "" ඕකා කරන්නේ ඔය සීන් එක තමා...ඌට කී දෙනෙක් අහුවෙලා තියනව කියලද හිතන්නෙ....උඹ දන්නවද අර පොලේ බයිට් විකුනන සිරිලාල්... ආන් ඌත් ඔය යකාට අහුවෙලා රුපියල් එක්දාස් ගානක බඩු අරන් දීලා... බොරුනම් අහල බලපං
හෙට පොලට ගිහින්...

"" මුගේ ආච්චිට හාල් ගරන්න... යකෝ මූ කරලා තියෙන්නෙ අසික්කිතම වැඩක්නෙ..

"" සල්ලි ඉල්ලනවා වගේ නෙවෙයිනෙ බන්... බඩුමල්ලක් අරන් ඉල්ලුවම ඕනකෙනෙක් අරන් දෙනවනෙ... සැක හිතෙන්නෙත් නෑ..

"" මූව අල්ලගන්ම ඕනි බෙල්ලෙන්ම... හිටපංකො ඕකට මම දෙන්න වැඩක්...

"" ඒකනම් ප්‍රසා උඹට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි... ඕකා ලෝක ඇම්ඩා... කීදෙනෙක්ට පොල්ල තිබ්බද... අල්ලන එක ලේසි නෑ... කොහේ ඉන්නවද දන්නෙ නෑනෙ...

"" නෑ මම ඕකාව අල්ලනවමයි... කොහොම හරි....

     මනුස්සකමට නිගාදෙන අසමජ්ජාතියා අල්ලාගෙන හොඳහැටි තැලිය යුතුමය... මිනිසෙකුගේ මනුස්සකමින් අයුතු ප්‍රයෝජන ගන්න එවුන් නිසා සමාජයට ඇතිවන්නේ බරපතල හානියකි.. සත්‍ය වශයෙන්ම අසරණයෙකු දෙසද මිනිසුන් සැකසහිතව බලන්නේ මෙවැන්නන්ගේ තුච්ච ක්‍රියාවන් නිසාය... කලයුතු එකම දෙයනම් මෙහි සත්‍යතාවය විමසා බැලීමය... කලහැකි කිසිත් සිතාගත නොහැකිවූවත් කුමක් හෝ පොටක් පාදාගැනීමේ අරමුනනින් යුතුව මා පසුදිනම පොලවෙත ගොස් සිරිලාල්ව හමුවිය... සිරිලාල් විසින් පැවසූ කතාවද මාගේ කතාවද එකිනෙකට ඉතාමත් සමාන විය...

     දැන් ඇත්තේ අසමජ්ජාතියා කොටු කරගැනීමේ මෙහෙයුමය... එය සිතන තරම් ලේසි කටයුත්තක් විය නොහැක... මිනිසෙකුගේ හදවත තුලට පිහිපාරක් මෙන් කිඳා බහිමින් මිනිසුන් මුලා කරන සොර දෙටුවකු කොටු කර ගැනීම මාවැනි සාමාන්‍ය අයෙකුට සිහිනයක් පමනි... නමුත් අසාධාරණය සෑමවිට රජ වන්නේ නැත... එය කිසියම් දිනෙක හෙලිවිය යුතුමය... කල්පනා සාගරයේ කිමිදෙමින් දිනක් දෙකක රාත්‍රී කාල දෙකක් අවසානයේ මා එක් සැලසුමකට මුල පිරුවේය...
සාර්ථකත්වය කෙසේ වෙතත් මොහු ඉන්නා තැනක් හෝ සොයා ගැනීමට හැකි වුව හොත් එයද ලබාගත හැකි ජයග්‍රහනයකි...

    මේ ගැන කිසිවෙකුට හෝ නොදන්වා මා එහි ප්‍රථම අදියරට එලඹුනේ සැලසුමේ පලමු කොටස අනුවය... එනම් අලුතින් මිලදීගත් සිම්කාඩ් පතකින් මේ පුද්ගලයාට ඇමතුමක් ලබා දීමය... එය මෙසේ සිදුවිය... පුද්ගලයා හැඳින්වීම සඳහා අපි නිමල් යන නාමය භාවිතා කරමු... (මනඃකල්පිත නමකි)

"" හෙලෝ....

"" මේ නිමල් මහත්තයාද කතා කරන්නේ...

"" ආ ඔව් ඔව්... කවුද මේ මහත්තයා......

"" මම ගුනසේකර කියලා කෙනෙක් කතා කරන්නෙ.... මට නිමල් මහත්තයාගෙ නම්බරේ දුන්නේ %*$*$- කොන්ක්‍රීට් වැඩපලේ %*$$ අයියා...

"" ආ එයාද.... මොකක්ද දන්නෙ නෑ උවමනාව...

"" මේ නිමල් මහත්තයා ගෙවල් කොන්ත්‍රාත් ක්‍රමයට ප්ලේන්ට් කරනවා නේද...

"" ආහ්.... ඔව් ඔව්... මම තමයි ඒ වැඩේ කරන්නෙ... මහත්තයට වැඩක් කරගන්න තියනවද...

"" ඔව් නිමල් මහත්තයා... ටිකක් ලොකු වැඩක්... සම්පූර්න ගෙයක් ප්ලේන්ට් කරන්න තියනවා... වැඩේ කරගන්න විදිහක් තමා කතා කරගන්න ඕනි...

"" අපි වැඩේ බලලා අඩුවට කරමු ගුනසේකර මහත්තයා... මම එහෙම ලොකුවට අය කරන්නෙ නෑ... ඉතිං මේ ගේ කාගෙද මහත්තයගෙද...

"" නෑ නෑ නිමල් මහත්තයා මේක වෙනම සිද්දියක්... මේ ගේ මගේ නෙවෙයි... මගෙ යාලුවෙක්ගේ....

"" ඉතිං මහත්තයා යාලුවත් එක්ක මාව හම්බ වෙන්න එන්න.. අපි ගේ බලලා වැඩේට ගානක් කතාකරගෙන හෙමින් සැරේ කරලා දාමු...

"" නෑ නෑ නිමල් මහත්තයා යාලුවා දැන් ලංකාවේ නෑ... පැමිලි එකත් එක්ක ඉන්ග්ලන්ඩ් වල ඉන්නෙ... ඒගොල්ලන්ට වැකේශන් තියෙන්නෙ මේ මාර්තු අප්‍රේල් මාස දෙකේ... ඉතිං කාලෙකින් ලංකාවට එන හින්දයි නෑඳෑයො කට්ටිය එකතුවෙන හින්දයි ගේ එහෙම පොඩ්ඩක් ප්ලේන්ට් කරන්න හදන්නෙ... මොකද දැන් අවුරුදු ගනනාවකින් ගෙට කිසිම රෙපෙයාර් එකක් නෑ... දිය සෙවල බැඳිලා කැත වෙලා තියෙන්නෙ...

"" අප්පට සිරි එහෙමද... එහෙනම් වැඩේ බලන්නම වෙනවා...

"" ඔව් මේ මාත් එක්ක එක පන්තියේ හිටපු යාලුවා... ඉතිං මේ සේරම මට තමයි බාර දීලා ගියේ... ගිය සතියෙ කෝල් එකක් දීලා කියනවා ලඟදීම නිවාඩුවට එනවලු... ගේ පොඩ්ඩක් ප්ලේන්ට් කරගන්න විදිහක් නැද්ද කියලා... ඒ පාර තමයි මට ඔබතුමා ගැන ආරංචිය ආවේ... ඒකයි තකහනියක් මේ කෝල් කලේ...

"" හරි හරි මහත්තයා අපි වැඩේ කරල දාමු ඉහලම තත්වයෙන්... ආයෙ අඩුවක් පාඩුවක් වෙන්නෙ නැතුව....

"" නෑ නෑ නිමල් මහත්තයා මේක ඉස්තරම් විදිහට කරන්න ඕනි නෑ...

"" ඈහ් ඒ මොකද ඒ... කරන වැඩේ හරියට කරන්න ඕනිනේ...

"" මේකයි නිමල් මහත්තයා... මගේ යාලුවා ලංකාවට ඇවිත් ඉන්නෙ මාස දෙකයි... ඊට පස්සෙ ආයේ ආපහු යනවා... ඒ ගියාට පස්සෙ ඉතිං ආයෙ එන්නෙ අවුරුදු පහ හයකින්... ඔය ඉන්න මාස දෙකට ඔය වැඩේ සුපිරියටම කරන්න ඕනි නෑ... මොකද ගෙයි මුරකාරයා විතරයි ඕකේ ඉතුරු වෙන්නෙ... අපරාදෙ සල්ලියක් යට කරන්න ඕනිත් නෑ.... අනික මට මේවාට නැහුනයි කියල හම්බ වෙන දේකුත් නෑනේ... ඉතිං කීයක් හරි තියාගෙනයි වැඩේ කරන්න ඕනි....

"" ආ ආ මට තේරුනා වැඩේ කරන හැටි.... මහත්තයා මුලින්ම මට ඕක කිව්වනම්
වැඩේ ඉවරයිනේ...

"" මම නිමල් මහත්තයට ඇත්තම කතාව කියන්නම්කෝ...

""හරි කියමුකො බලන්න...

"" යාලුවා මගෙන් ඇහුවා වැඩේට කීයක් විතර යයිද කියලා... මම කිව්වා ලක්ශ අටක් නමයක්වත් යයි කියලා... ඉතිං යාලුවා පෙරෙයිදා ලක්ශ නවයක් දාලා තිබ්නා මගෙ එකවුන්ට් එකට... මම කල්පනා කලේ මේ වැඩේ ලක්ශ දෙකතුනකින් ඉවර කරලා මාත් ලක්ශ දෙකක් විතර තියාගෙන යාලුවගෙ හිතට සැටිස් වෙන්නත් එක්ක ඉතුරු සල්ලි ආපහු  දෙන්න... ආයෙ සැකයක් වත් හිතෙන්නෙ නෑනෙ එතකොට... ඔන්න ඕකයි සිද්දිය... වැඩේට ටක්කෙටම හරියන මිනිහා නිමල් මහත්තයා කියල තමයි මට කොන්ක්‍රීට් වැඩපලේ %&$* අයියා කිව්වෙ...

"" හරි අපි වැඩේ කරමු ගුනසේකර මහත්තයා... කාටවත් සැක නොහිතෙන්න මම වැඩේ කරලා දෙන්නම්... හැබැයි ගේ බලන්න ඕනි ඔක්කොටම කලින්... නැතුව ගනක් මිම්මක් බලන්න බෑනෙ...

"" ඔව් එහෙනම් අපි හෙට අනිද්දට ගේ බලන්න යමු... නිමල් මහත්තයට කවද්ද නිවාඩුවක් තියෙන්නෙ...

"" ආයෙ නිවාඩුවක් ඕනියෑ ඔය වගේ වැඩකට... අපි හෙට දිහාට යමු ගේ බලන්න..

"" හරි මම හෙට පොඩි වැඩකට යන්න තියෙනවා කොළඹ... එනකොට හවස් වෙයි... ඒක හින්දා අනිද්දට යමු... ගිහිල්ලා ගේ බලලා එමු.... නිමල් මහත්තයා සැර ජාති ගන්නවනම් එහෙම්ම එහා පැත්තෙ තියන බාර් එකට ගිහිල්ලා මොනව හරි කරන ගමන්ම කතා කරන්නත් පුලුවන්....

"" ආහ් හහ් හහ්... කන්න බොන්න නේන්නම් ගුනසේකර මහත්තයා අපි මේ සේරම කරන්නෙ... හරි හරි අපි හෙමීට පොඩි අඩියක් ගහන ගමන් වැඩේ කතා කරමු...

"" හරි නිමල් මහත්තයා අපි එහෙනම් අනිද්දට හම්බ වෙමු... මම එන්නම් නිමල් මහත්තයව ගන්න ගේ ගාවටම... ආ... කතා බහ කලාට මොකද නිමල් මහත්තගේ ගෙවල් තියන තැනවත් මම ඇහුවේ නෑනෙ.... හැබෑට නිමල් මහත්තයගෙ ගෙවල් කොහේද....

"" අයියො කරදර වෙන්න එපා... මහත්තයට ලේසි තැනක් කියන්න මම ඇවිත් ඉන්නම් පාරට... මෙහෙ නිකං කරදර වෙලා දුවගෙන එන්න එපා...

"" නෑ නෑ කමක් නෑ මම එන්නම්.... ඕක මොකක්ද මගෙ වෑන් එකකුත් තියනවනෙ... මම සුටුස් ගාලා එන්නම්...

"" මහත්තයා එහෙනම් %*$*#* ටවුමට එන්නකො මම ඉන්නෙ ඒ හරියෙ...

"" හරි හරි මම එන්නම්... එහෙනම් තිබ්බා... මේක ගැන කාටවත් කියන්න එපා... අපි දෙන්නා විතරයි දන්නෙ හරිද...

"" හරි හරි ඕවා මේ පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයිනෙ.. අපි ගානට වැඩේ කරමු... එහෙනම් තිබ්බා ඈ...

"" හරි එහෙනම් තිබ්බා....

   විනාඩි දහයක් දොලහක් වූ එම කාලය තුල මාගේ ඉහින් කනින් දාඩිය බේරුනේ ගංගාවක් මෙනි... එක් වචනයක් වැරදුනහොත් සියල්ල වතුරේය...  කෙසේ හෝ පලමු අදියර සිතුවාටත් වඩා සාර්ථක විය... ලොකෝත්තර ඇම්ඩෙකු වූ නිමල් අහඹු ලෙස ගැසූ ගැටයට අසුවිය... දැන් තිබෙන්නේ එහි දෙවනි අදියරය... එය තරමක් අසීරු කටයුත්තක් වනු නොඅනුමානය... ඒ සඳහා නැවතත් විශාල වැඩපිලිවෙලක් සැකසිය යුතුය... එදින රාත්‍රී ඒ සඳහා කල්පනා සාගරයේ කිමිදෙමින් සිටි මාගේ දැහැන බිඳ වැටුනේ ජංගම දුරකතනයට පැමිනි ඇමතුමක් නිසාය... පුදුමයකි... නැවත වතාවක් එදෙස බැලූ මාහට සිහි එලවා ගැනීමට මද වේලාවක් ගත විය... එහි තිරයේ සටහන් වූයේ නිමල්ගේ අංකයය... බොහෝ දුරට මාගේ සැලසුම ව්‍යර්ථ වී ඇත යන්න මාගේ සිතිවිල්ල විය.. කල යුතු දෙයක් නොමැත.... වහාම ඇමතුමට ප්‍රතිචාර දැක් වූ මා එය කනේ තබාගත්තේ කලයුතු එකම දෙය එය බැවිනි... අනෙක් පසින් නිමල්ගේ හඬ මාගේ සවනට ගලා එන්නට විය...

"" හෙල්ලෝව් ගුන්නසේකර් මාත්තයා.... මං නිම්මල් කතාහ් කරන්නේ..

    මාහට සියල්ල වැටහින... බේබදු මිනිසා මේ වන විට වෙරිමතින් සිටින බවට වටහා ගැනීමට ඔහුගේ වචන කිහිපය හොඳටම ප්‍රමානවත්ය.... සමහරවිට මෙය ඔහුගේ රඟ පෑමක් වීමටද ඉඩ ඇත... මා ඉතා කල්පනාකාරී වියයුතුය...

"" ආ නිමල් මහත්තයා මොකෝ හදිසියේ...

"" නෑ නෑ අදිසියක් නෑ... මම මේ නිකං ගත්තේ...

"" ආ එහෙමද... මාත් මේ හයිවේ එකේ යනගමන්... ඉන්නේ

"" හප්පා සිරි මාත්තයෝ ඒනම් පෝන් එක තියන්ඩ... වාහන එලවන ගමන් කෝල් කරන්න බෑනෙ...

"" නෑ නෑ උවමනාවක් තියනවනම් කියන්ඩ...

"" උවමනාව ඉතිං මේ වැඩේ මටම දෙන්ඩ කියන එකම තමයි... හහ් හහ්...

"" හරි නිමල් මහත්තයා මම ඔයා ඇරෙන්න වෙන කාටවත් දෙන්නේ නෑ...

"" අරි අරි ඒනම් බුදුශරනයි කිව්වා ඈ... අනිද්දට හම්බ වෙමු...

"" හරි ඕකේ බායි....

   අධම මිනිසාට සොරාකෑමෙහි රසය දැනී ඇත...  කරන්නට යන වැඩයේ ඇති ලාභයට කෑදර වූ කට්ට කෛරාටික මෝඩයාට ඉදිරියට සිදුවන්නට යන අකරතැබ්බය ගැන කිසිම අවබෝධයක් නොවීය... මාගේ සැලසුම සිතුවාටත් වඩා සාර්ථක වී ඇත... මා එය කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවේය... සොරාගේ බෙල්ල ලගින්ම අල්ලා ගැනීමට මාහට ඇත්තේ තවත් දින දෙකකි... නමුත් මේවැනි සිදුවීමක්දී විය හැකි අතුරු ප්‍රතිඵල මාහටද බලපෑමට ඇති ඉඩකඩ බොහෝය.... සොරෙකු අල්ලා ගැනීම තනිවම කල හැක්කක් වුවද අවසානයේ මෙයට මුහුනදීමට සිදුවන්නේ මාහටමය.... කිසියම් විටෙක කෝපාවිශ්ඨ වූ සොරා මාහට පහරදීමට හෝ පසු කලෙක පලිගැනීමටද ඉඩ ඇත... බොහෝ දුරට පොලිසියේ කූඩුවක ලැගීමටද සිදුවිය හැක... එබැවින් මෙය සඳහා තවත් අයෙකු සම්බන්ධ කරගත යුතුව ඇත... එයට වඩාත්ම සුදුසු පුද්ගලයා වන්නේ සිරිලාල්ය...
ඔහුටද මේ සඳහා කෙලින්ම සම්බන්ධ වීමට අයිතියක්ද ඇත..

    නැවතත් සිහිනුවනින් වැඩකල මොහොතක් එලඹ ඇත.... ඒ සඳහා මනාව සූදානම් විය යුතුය... පසුදින නිවාඩුවක් දමා උදෑසනම සිරිලාල් හමුවීමට හියේ ඔහුට මේ ගැන දැනුම් දීමටය... සැලසුමේ සියලු පියවර එකින් එක ඔහුට පැහැදිලි කිරීමෙන් අනතුරුව ඒ සඳහා සහභාගී වීමට ඔහුද එකඟ විය... සොරදෙටුවාගේ
වංචාවට හසුවූ තවත් දෙදෙනෙකු සිටින බවත් ඔවුන්වද මේ සඳහා සහභාගි කරගැනීමට ඔහු තීරනය කලේය... හවස් වනවිට හතර දෙනෙකුගෙන් යුත් අගතියට පත් පාර්ශවය සියලු වැඩ කටයුතු සඳහා සූදානම් විය... හොරා අල්ලා ගැනීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට සියලු සහයෝගය ලබාදෙන බවට  පොරොන්දු වී සියල්ලෝම විසිර ගිය අතර මාද ආපසු ගරාජයට පැමිනියේය...

    එදින සවස නිමල් නමැති සොර දෙටුවාට මා ඇමතුමක් ලබා ගත්තෙ සැලසුමේ දෙවන කොටස  සම්පූර්න කර ගැනීමටය..

"" හලෝ නිමල් මහත්තයා...

"" ආ ගුනසේකර මහත්තයා... මොකද වෙන්නෙ...

"" මම මේ කෝල් එකක් ගත්තෙ හෙට වැඩේට එනවද බලන්න..

"" නැතුව නැතුව... මටත් මේ දවස්වල තරමක් මුදල් හිඟයි... අනිවාර්යයෙන්ම වැඩේ කරන්න ඕනි....

"" හරි එහෙනම් හෙට උදේම මම ඉඩමට යනවා... ගිහිල්ලා ආපහු එනවා දවල් දහය වෙනකොට.... නිමල් මහත්තයා දහය වෙනකොට ටවුමට ඇවිල්ල ඉන්න... මම එන්නම් ගේ බලන්න යන්න...

"" හරි හරි එහෙනම් එහෙම කරමු...

"" එහෙනම් නිමල් මහත්තයා මම හෙට උදේට කෝල් එකක් දෙන්නම්... වැඩේ කැත වෙන්නෙ නැතුව ගානට කරමු ඈ...

"" හරි මහත්තයා හරි....

    ඇමතුම අවසාන විය... නොසිතූ ලෙස සොර දෙටුවා උගුලට අසුවිය... හෙට උදෑසනම සැලසුමේ ඉතුරු කොටස සාර්ථකව නිම කරගත යුතුය... එදිනද සෙමෙන් සෙමෙන් ගෙවී ගියේ පසුදිනට පහන් වෙමිනි... සිරිලාලුත් අනෙකුත් දෙදෙනාත් දහවල් දහය වන විට ගරාජය අසලට පැමිනෙන ලෙස දැන්වූ මා නිමල් ඇමතුමක් ලබා ගත්තේය... ඒ උදෑසන නවයට පමනය...

"" හෙලෝ නිමල් මහත්තයා... කොහේද ඉන්නෙ... මම දැන් ඉඩමේ ඉඳලා එන්න හදන්නෙ...

"" ආ මම මේ දැන් පාරට බැස්ස විතරයි... තව පැය භාගයක් යනකොට මම ටවුමට එනවා...

"" හරි එහෙනම් මාත් දැන් එනවා... ටවුමෙදි හම්බ වෙමු...

"" හරි හරි එහෙම හොඳා....

"" එහෙනම් තිබ්බා ඈ...

    සියල්ල අකුරට සිදුවෙමින් පවතී... තවත් පැය කාලක් පමන වන විට සිරිලාලුත් අනෙකුත් දෙදෙනාත් ගරාජය අසලට පැමිනියේ සොර දෙටුවාගේ බෙල්ලෙන්ම අල්ලා ගැනීමටය... දැන් එලඹ ඇත්තේ සැලසුමේ අවසාන කොටසය... එනම් නිමල් ලොක්කාට ලබා දෙන අවසාන ඇමතුමය... ගරාජයේ පිටුපස හිස් ඉඩමට ගිය මා නැවතත් නිමල්ට ඇමතුමක් ලබාගත්තේය... සිරිලාලුත් අනෙකුත් දෙදෙනාත් මා සමගින් ගරාජය පිටිපසට පැමිනියේ සියල්ලම සජීවීව බලාගැනීමටය...

"" හෙලෝ නිමල් මහත්තයා... මම ගුනසේකර කතා කරන්නෙ.. නිමල් මහත්තයා කොහේද ඉන්නෙ..

"" මම ටවුමට ආව විතරයි... තාම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙ...

"" නිමල් මහත්තයා මම මේ ඉඩමට ගිහින් එනකොට වාහනේ පොඩි සද්දයක් ඇහෙන්න ගත්තා රෝදෙකින්... ඒ පාර %*$*# ගැරිජ් එකට දැම්ම බලන්න... බලනකොට මේ බෙයාරින් එකක් ගිහින්.... ඒක දාගෙන තමා යන්න වෙන්නෙ... මහත්තයාට එන්න පුලුවන්ද %*$*#-$ ගැරිජ් එකට... නැත්තං පැය භාගයක් විතර ටවුමෙ රස්තියාදු වෙන්න වෙනවා අපරාදෙ...

"" අප්පට සිරි එහෙම එකක්ද.... කමක් නෑ මම හෙමීට ඔය පැත්තට එන්නම්...

"" නිමල් මහත්තයා ඔහොම්මම ත්‍රීවීල් එකකට නගින්න... මම සල්ලි දෙන්නම් ඒකෙ අවුලක් නෑ... මේ වැඩේට පැය භාගයක් විතර යයි කියලා බාසුන්නැහේ කිව්වා... අපරාදෙ ටවුමෙ රස්තියාදු වෙන්න එපා...

"" ආ එහෙනම් මම ත්‍රීවීල් එකක එන්නම්....

"" ආන් හරි මහත්තයා කෙලින්ම ගැරිජ් එකට එන්න... මම එතන ඉන්නවා... වාහනේ හදනකං උදේට මොනව හරි කාලම ඉම්මු...

"" ආ ඒක හොඳයි... මම එන්නංකෝ...

      නූලට ගිනිතබා අවසන් වූයේ එලෙසය... දැන් කල යුත්තේ බෝම්බය පුපුරන තෙක් බලා සිටීම පමනය... ලෝකෝත්තර ඇම්ඩෙකු වූ නිමල් ලොක්කා මෙවර නම් උගුලට හසුවූයේ කිසිවිටෙකත්  බේරීමට නොහැකි ලෙසිනි... තවත් විනාඩි දහයක් පමන ගෙවී ගිය අතර මාද සිරිලාල්ද අනෙකුත් දෙදෙනාද නිමල්ගේ බෙල්ල මුලින් අල්ලාගැනීමේ අරමුන පෙරදැරිව ගරාජයේ කොට තාප්පය අසල සැඟවී සිටියේය... සියල්ල තිතටම වැඩකරන බව සක්සුදක් සේ පැහැදිලිය...

    ස්වල්ප මොහොතකට පසුව ගරාජය ඉදිරිපිට ත්‍රීවීලරයක් නතර විය... ඉන් බැසගත්තේ මෙතෙක් වේලා අප සොයමින් සිටි ඒ රුවය.... ජැන්ඩි පහට හැඳ වැදගත් පෙනුමක් සහිත සොරදෙටුවා සෙමෙන් සෙමෙන් ගරාජය දෙසට පියනගන්නට විය... සිරිලාලුත් මමත් අනෙකුත් දෙදෙනාත් ඔහුගේ පිටුපසින් පැමින සෙලවීමටවත් නොලැබෙන සේ දෙ අත් සහ දෙපා අල්ලාගෙන ඔහුව බිම දමාගත්තේ තත්පර පහකටත් වඩා අඩු කාලයකදීය... හදිසියේම සිදුවූ අකරතැබ්බය නිසා මහත් කලබලයට පත් වූ සොරදෙටුවා බේරී පලායාමට උත්සාහ කලත් එය ව්‍යර්ථ වූ බැවින් අපගේ අනට කීකරු වී ගරාජයේ පුටුවක වාඩි විය... මාත් සිරිලාලුත් අනෙකුත් දෙදෙනාත් දෙස බැලූ සොර දෙටුවා අවසානයේ සිදුවූ සියල්ල අවබෝධ කරගත්තේය... ගෙවල් ප්ලේන්ට් කරන වැඩය සම්පූර්න බොරුවක් බවත් තමා එම ගැටයට අසූවූ බවත් මාගෙන් දැනගත් සොරදෙටුවා අවසානයේ බොහෝ පසුතැවිලි වන්නට විය.......

මෙතෙක් කාලයක් කිසිවෙකුගේ හෝ අතට හසු නොවී තමා කල මේ අසමජ්ජාති ක්‍රියාව නිසා අවසානයේ තමන් කොටූවූ බව දැනගත් සොරා අපෙන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමක් පමනි... එනම් ඔහුව පොලීසියට අල්ලා නොදෙන ලෙසය... නමුත් දැඩිසේ කෝපාවිශ්ඨව සිටි සිරිලාල්ගේ මතය වූයේ මොහුට විරුද්දව පොලීසියේ පැමිනිලි කිරීමය... තමා පොලීසි ගෙන නොයන ලෙසත් මින් මතුවට මෙවැනි අධම නින්දිත ක්‍රියා වල නොයෙදෙන බවත් පරසක්වල ගසා පොරොන්දු වූ නිමල්ට අවසානයේ නිදහස ලබා දීමට අප සියල්ලෝම තීරණය කලෝය... නමුත් ඒ එක් කොන්දේසියක් මතය... එනම් නිමල්ගේ පදිංචිය , හැඳුනුම් පත් අංකය , නිවසේ ලිපිනය වැනි සියලු තොරතුරු අප හට ලබා දීමත් , එදායින් පසු කිසියම් දවසක මෙවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවට ආරංචි උවහොත් එම මොහොතේම සියලුම විස්තර පොලීසිය වෙත ලබා දෙන බවත්ය... පොලීසියට අප්‍රමාන බියක් දැක්වූ සොරාට අත පුරවා කනේ පහරවල් දෙක තුනක් එල්ල කල සිරිලාල් ඔහුට යන්නට දෙන ලෙස පැවසුවේය... බිම දිගා වී සිරිලාල්ගේ දෙපා වැඳි හොර නකුටා නැවත වතාවක් මෙවැනි දේවල් නොකරන බවට පොරොන්දු විය... මා දෙස බලා කිසිවෙකුට වටහා ගත නොහැකි බැල්මක් හෙලූ සොරා ගරාජය දෙසත් එක් වරක් පමනක් බලා පිටත්ව ගියේ ඔහුව අල්ලාගෙන පැයදෙකක් හෝ ඊටත් වඩා වේලාවක් ගතවූ පසුවය... දින තුනක් තිස්සේ වෙහෙස වී අල්ලාගත් සොරාට යන්න දීම ගැන ගරාජයට පැමිනි යම් අයවලුන් විරෝදය පලකලද අපගේ අවසාන තීරනය වූයේ ඔහුව අතහැර දැමීම පමනි...

     සොරා සෑහෙන කලක සිට ඒ පලාතේත් , තරමක් දුර බැහැර ප්‍රදේශ වලත් මිනිසුන් රැසකගෙන් වංචාකාරී ලෙස බඩු භාන්ඩ ආදිය ඉල්ලාගෙන ඇත...  ඒවා විකුනා මත්පැන් බී බේබදු ජීවිතයක් ගතකොට ඇති අතර රැකියාව වශයෙන් පින්තාරු වැඩද කර ඇත... නමුත් බේබද්දෙකු වීම නිසා මිනිසුන්ගෙන් ලැබෙන කොන්ත්‍රාත් වැඩ වල අඩු වීම නිසා මොහු හැකි සෑම විටම මිනිසුන් රවටා මුදල් ලබාගෙන ඇත... කාලයක් තිස්සේ කිසිවෙකුටත් හසු නොවී කරගෙන යාමට සමත් කමක් මොහු සතුව ඇත.. දෑසින් කඳුලු බේරෙමින් වචන හසුරවන මොහු ඕනෑම අයෙකුගේ සිතක් අනුකම්පාවෙන් උනු කරවාලීමේ හැකියාවේ කෙල පැමිනියෙකි... කෙසේ වෙතත් සමාජයට මේ මිනිසා වැනි අයවලුන් නිසා ඇතිවන්නේ විශාල ගැටලු කාරී තත්වයකි.. සත්‍ය වශයෙන්ම අසරන වූ මිනිසුන්ද මෙවැන්නන් නිසා සමාජයෙන් කොන් වී යා හැකිය... හිගන්නෙකු දුටු විට අනුකම්පාව යට ගොස් සැකයක් මතුවීම දක්වා මිනිසුන්ගේ මනස වෙනස් වීමට හේතුව මෙවැනි කාලකන්නීන්ය...

පසු වදන...

2014 වසරේ අග භාගයේත් 2015 වසරේ මුල් භාගයේත් යන කාලය තුලදී මා මුහුන දුන් මෙය සත්‍ය සිදුවීමකි... මෙහි එන සියලුම  නම් ගම් මනඃකල්පිතය...

ප්‍රසාද් කුමාර....
සෞදි  අරාබියේ සිට ලියයි...✍️✍️✍️✍️

Comments

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....