අපේ ගම (2 කොටස)

  ඔන්න අදත් මම අපේ ගම ගැන පොඩියට විස්තරයක් අරං ආවා.. ගම ගැන කියද්දි ගමේ ඉතිහාසය ගැන නොකියා හිටියොතින් ඒක අඩුවක් කියල හිතෙනව.. ඒ නිසා අද ගමේ ඉතිහාසය කියන්න හිතුවා..
1933 වසරේ මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම මුල්ම ගම්මානය වූයේ #බුබුල ගමයි.. (බුබුල ගමට මේ නම ලැබෙන්න හේතුව #දිය_බුබුල නම්වූ උල්පතයි. ඒ පිලිබදව දැනගන්න කලිං මා දැමූ #දිය_බුබුල පෝස්ට් එක බලන්න) මෙම ගම්මානය ආරම්භ කිරීමේදී කුරැනෑගල, ගම්පොල,නුවර,ගම්පහ ආදී ප්‍රදේශ වලින් පැමිනි ජනතාව පදිංචි කර ඇත. ඒ ඒ ජනතාව සිටි කොටස් තවමත් වෙනමම හදුනාගත හැකියි.. ඒ කොළඹ වාඩිය, නුවර වාඩිය ආදී වශයෙන් තාමත් එම පැති හදුන්වන නිසාවෙනි.. ආරම්භයේදී ගොඩ ඉඩම් අක්කර 5යි මඩ ඉඩම් අක්කර 5යි එක් පවුලකට ලබා දී ඇති අතර නිවාසද ඉදිකර දී තිබෙනවා.. ඒවා කොළනි ගෙවල් ලෙස තමා හදුන්වන්නේ...
ඉතිං මෙහෙම දුන්න ⁣මඩ ඉඩමකින් අක්කර කාලක වගේ කොටසක් රැපියල් 50කට අරගෙන මීට වසර 45 පමණ පෙර අපේ සීයා(පියාගේ පියා) දුම්කොල හදන්න ඇවිත් තියෙන්නේ ගම්පල ඉදන්. පසුකාලීනව ඉඩම් උගසට අරං ප්‍රදේශය පුරාම රත්නායක මුදලාලි කියල තමා ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ සීයාව... නමුත් සීයාගේ තිබුන සමහර ගතිගුන නිසා මේ සියල්ලම විකුණා 1985 දී පමණ මේ ප්‍රදේශයෙන් නැවත ගම්පලට යනව.. මාගේ පියා මේ කාලය වන විට ගැටවර වයසේ නිසා හිතුවක්කාරකමට ගමේ නතර වෙනව.. ඉතිං ඒ කාලේ ඉදන් තාමත් අපි මේ ගමේ ජීවත් වෙනව..
ඉතිං පියා පවසන පරිදී #විජය_කුමාරතුංග මහතා පළමුවෙන්ම මහජන පක්ෂය වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න තෝරා ගත්තේ #මින්නේරිය ආසනයයි. ඒ කාලේ රටේ සිහින කුමාරයා උනේ එතුමා.. තාත්තලාගේ වීරයා උන විජය කුමාරතුංග මහතා සමග අපේ පැරණි ගෙදර බූරැ ඇදක් උඩ කට්ටිය එකට ගත්ත පොටෝවකුත් රාමු කරල තිබ්බා බුදුපහණ ලගම තියල...(ඒ පොටෝ එක ලගක් වෙනකම්ම අම්මා තියාන හිටියා, අද මේකට දාන්න හෙව්වට හමුඋනේ නෑ..) එතුමාට කොයි තරම් වැදගත්කමක් දීල  තිබුනාද කියල හිතාගන්න පුලුවන් නේද?? ඒ දවස් වල චිත්‍රපටයක් බලන්න යනව කියන එක තමා කොල්ලන්ගේ විනෝදේ. ඉතිං හිගුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාව තිබ්බේ. මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මින්නේරිය යන පැතිවල සියලුම දෙනා එන්නේ එකට තමා. සමහර දිනවල උදේ ගියාම රෑ 10.30 එක තමා බලන්න වෙන්නේ කියල තාත්තා කියනව. ඒ තරමට සෙනගලු. ගාමිණී පොන්සේකා, මාලණී පොන්සේකා, වි⁣ජය කුමාරතුංග තමා ඒ කාලේ සිනාමාවේ රජවරැ.  එයින් විජය කුමාරතුංග තමා තාත්තලාගේ හිතට වැදුන එකම කෙනා.. ඉතිං එතුමා ඡන්දේ ඉල්ලන්න ආවාම ගමට කොහොමට ඇද්ද?? ඒ කාලේ සීයා ගමෙන් ගිහින් නිසා තාත්තයි යාලුවො ටිකයි විතරයි ගෙදර ඉදල තියෙන්නේ.. ඉතිං විජය මහත්තයාත් දවස් කිහිපයක් හිටියලු තාත්තලා එක්ක.. විජය මහත්තයා කුරැම්බා එක්ක කසිප්පු බීපු හැටි තාමත් මතක් කරනව යාලුවො ටික සෙට් උනාම.. (විජය කුමාරතුංගයන්ට අපහාසයක් පිණිස නොවේ.)මොකද ඒ කාලේ බොන්න ඕන උනාම බීවේ ගහේ මැදපු රා හරි ගෙදර පෙරපු කසිප්පු තමා.. මොකද හැම තැනකම සීල් අරක්කු තිබිලා නෑ..
අපේ පියාට ඒ කාලේ ඉදල තියෙනව මීහරක් රංචුවක්.. ඉතිං මී හරක් ඉන්නවා කියන්නේ දැං කාලේ ට්‍රැක්ටරයක් තියෙනවාට වඩා ගැම්මක්ලු.. ඉතිං හැමදාම උදේට මී හරක් රංචුව කන්න ගිහින් බැදල එහෙමම සුදු ඇදුම ඇදන් ස්කෝලෙට යනවලු. ඒකාලේ ස්කෝලේට බාර දෙන්න දෙමපියෝ ගියාට පස්සේ ආයේ කවදාකවත් ස්කෝලේ පැත්තේ යන්නේ නෑ.. ගෙදර ඉදන් ස්කෝලෙට කිලෝමීටර් 8ක් විතර තියෙනව. ඒ සුර කවදාකවත් පාරෙන් ගිහින් නෑ. කුඹුරු මැදින්, වතු මැදින් තමා ගිහින් තියෙන්නේ. මං ගියෙත් ඒ පාසලටම තමා.. ඉතිං තාත්තා උදේ ස්කෝලේ ගිහින් ආපහු එද්දි හරක් රංචුව බලල කොල්ලා එක්ක නඩලං ගහල රෑවෙලා තමා ගෙදරට එන්නේ.. ඒත් හරක් රංචුවත් අරංලු.. ඒ කාලේ ගමේ කොයි ගෙදරත් එකක් ඉවර වෙද්දි එකක් ලෙස බත් මුට්ටියක් කන්න තියෙනවාමයි.. කොහේට ගියත් කන්න තිබුනා.. ඉතිං කන්නවත් ගෙදර නොගිය තරම්.. ස්කෝලේ ඇදුම් ඉරැනාම තාත්තලාම අතිං මහ ගන්නවලු.. සීයා ටිකක් දරැණු මනුෂ්‍යයෙක් ඒ නිසා ගෙදර හිටියොතින් අනිවාර්යයෙන් වේවැල් කසාය මොකට හරි කන්න වෙනවාමයි.. සීයා කොහොමත් ළමයි ගැන හොයල නොබලපු තරම්.. ඉතිං ගහට කොලට හැදුනත් අද තාත්තා රජයේ හොද ජොබ් එකක් කරන්න තරම් ඉගෙන ගත්තා. දැං කාලේ වගේ එහෙම උනා නම් ඉතිං හිතාගන්නවත් බැරි තත්ත්වයක් තමා වෙන්නේ..
තවත් කොටසකින් නැවත හමුවෙමු අපි......
(හර්ෂ මදුෂාන් රත්නායක)

Comments

Popular posts from this blog

දියුණුව.. හා දියුණු වෙමින් පවතින..

හෙළ විෂ ⁣වෙද පරම්පරාව

ඊයේ සෑ තමා සෑ.....